මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු ඝණ අපද්‍රව්‍ය කළමණාකරනයේ නව පියවරක් තැබූ බළංගොඩ නගර සභාවේ ඝණ අපද්‍රව්‍ය කළමණාකරණ මධ්‍යස්ථානය (Solid waste management system in Balangoda UC)


බළංගොඩ ඝණ අපද්‍රව්‍ය කළමණාකරණ මධ්‍යස්ථානය



හැදින්වීම

ශ්‍රි ලංකාවේ, සබරගමු පලාතේ, රත්නපුර දිස්ත්‍රිකයේ පිහිටි පැරණිතම නගර සභාව බලංගොඩ නගර සභාව වන අතර දුරදක්නා නුවණින් යුතුව සැලසුම් සහගතව කරන කසළ කලමණාකරණය තුලින් 2012 වර්ෂය අවසන් වන විට බලංගොඩ නගරය නිල්ල පිරුණු, පරිසර හිතකාමි ආනනදණීය පුරවරයක් බවට පත්කිරිම එහි වර්තමාන නායකත්වයේ මුලික අරමුන වේ.
එදිනෙදා භාවිතයේ දි නොවැදගත් යැයි සිතා ඉවත ලන ඕනෑම ද්‍රව්‍යයක් කසළ ලෙස හදුන්වනු ලැබේ.මෙය වර්තමානය වන විට ලෝකයේ අනෙතුත් රටවල මෙන්ම ශ්‍රි ලංකාව ද මුහුණ පා ඇති ප්‍රධාන ගැටළුවක්ව පවතින අතර නාගරික පරිසරය තුල දෛනික එකතුවන කසළ නාගරික පරිසරයේ සුන්දරත්වය කෙලසයි. ඒ සදහා මිනිස් සංහතියේ නොමනා ක්‍රියාකාරිත්වය සෘජුවම බලපානු ලබයි. අප එදිනෙදා පරිහරණය කරන සැම දෙයක්ම ඉතා ඉක්මනින් හෝ පසුකාලිනව කසළ බවට පත්වේ. අද පුවත්පත් ගත්විට එය ඊලග දිනයේ කසළ බවට පත්වේ.දිනදර්ශනය ගත් විට ඊලග වර්ෂයේ කසළ බවට පත්වේ. වර්තමානය වන විට කසළ ප්‍රබල පාරිසරික ගැටළුක් මෙන්ම සමාජිය ගැටළුවක් ව පවති. එනම් ඊට පාරසරික මුහුණුවරක් මෙන්ම සමාජිය මුහුණුවරක් පවතින බව පැහැදිලිවේ. කසළ නොදිරන හා දිරන ද්‍රව්‍ය විවිධ ප්‍රතිශතයන්ගෙන් සමන්විත වේ. දිරන ද්‍රව්‍යයන් ක්ෂුද්‍ර ජිවි ක්‍රියාකාරිත්වය නිසා ජිර්ණයට පත්වන අතර නොදිරන දව්‍යයන් නවීන විද්‍යත්මක ක්‍රම උපයෝගි කරගෙන නැවත නැවත ප්‍රයෝජනයට ගත හැක. එනම් ඊට ජිව විද්‍යත්මක මුහුණුවරක් මෙන්ම තාක්ෂණික මුහුණුවරක් පවතින බව මනාව පිළිඹිබු වේ. එනම් කසළ වලට පවත්නා පාරසරික හා සමාජිය මුහුණුවරත්, ජිව විද්‍යත්මක හා තාක්ෂණික මුහුණුවරත් මනාව සංකලණය කරමින් ඊට ආර්ථික මුහුණුවරක් ලබාදිමට හැකිය. මේ වග මනාව අවබෝධ කරගත්තෝ කසළ කලමනාකරණය කරමින් ආර්ථික වාසි උදාකරගනි.
බලංගොඩ නගරසභාවේ නායකත්වය මේවග මනාව අවබෝධ කරගන ඇති අතර එය මනාව ක්‍රියාවේ යොදවමින් සාර්ථක කසළ කලමනාකරණ ව්‍යාපෘතියක් පවත්වා ගනිමින් පවති.

බළන්ගොඩ නගර සභාවේ කසළ කලමණාකරන ව්‍යාපෘතියේ ඓතිහාසික පසුබිම

වර්ෂ 1939 දී සර් හෙන්ඩිරි බ්‍රවුනි ආණ්ඩුකාරවරයා විසින් පිහිට වු මෙම නගර සභාවේ මුල්ම සභාපතිවරයා වුයේ ලෝකයේ ප්‍රථම අග්‍රමාත්‍යවරිය වු සිරිමාවෝ ඩයස් බණ්ඩාරණායක මැතිනියගේ පියාණන් වු බාන්ස් රත්වත්ත දිසාවේ මැතිතුමාය. එදා දවස සෙනටරි බෝඩ් නමින් ආරම්භ වු මෙම නගර සභාව අද වන විට නගරාධිපතිවරුන් 10දෙනෙකු පාලනය කර ඇති අතර වර්ෂ 9ක් විශේෂ කොමසාරිස්වරයෙකු විසින් පාලනය කර ඇත. වර්තමානය වන විට ගරු සභාපති ලෙස කටයුතු කරන්නේ නිමල් ගාමිණි විරසිංහ මැතිතුමා විසින් වන අතර නිත්‍ය පදිංචි ජනගහනය 23,220 වන අතර වර්ග කිලෝමිටර 16.2 ක විශාලත්වයකින් යුතු දෛනිකව නගරය ප්‍රයෝජනයට ගන්නා 35,000 පමණ ජනතාවගේ මුලික පහසුකම් සලසන ආයතනයකි. අද වනවිට ස්ථීර කර්යය මන්ඩලය 95 වන අතර ආදේශක 37 ක කාර්යය මණ්ඩලයකින් සමන්විත වේ.

විශේෂ සිදුවීම්

වර්ෂයසිදුවීම
2000
  • වර්ෂ 2000 වන වීට කුඩා පරිමානයේ කසළ කලමනාකරණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙමින් තිබුනි.
  • සදුදා දිනයේ දි සතිපොළේ එකතුවන කසල පමණක් කොම්පෝස්ට් සැදිමට යොදා ගෙන ඇත.
  • නගරයේ දෛනිකව එකතුවන අනෙකුත් කසළ නාගරික අධිකාරියේ ඉඩමකට බැහැර කරිම.
  • ප්‍රධාන මහජන පරික්ෂක නිමල් මහතා බළංගොඩ නගර සබාවට පැමිණිම.
  • නාගරික අධිකාරියේ ඉඩමකට කසළ බැහැර කිරිම තහනම් කිරිම.
  • දෛනිකව එකතු වන මෙ.ටො. 10 ක පමන වන කසළ මාර්ගය දෙපස ගොඩ ගසමින් කසළ කලමණාකරන ව්‍යාපෘතිය ඉදිරියට කරගන යාමට නිලධාරින් කටයුතු කලහ.
2001
  • පාර දෙපස වු කසළ ගොඩවල් වලින් වෑහෙන අපවිත්‍ර වු ජලය (leachat) කානු පද්ධතිය ඔස්සේ කුඹුරු වලට එකතු විම හේතුකොටගෙන ප්‍රථම මහජන උද්ඝෝෂණ ඇතිවිය.
  • ඉන් අනතුරුව වෑස්සෙන අපවිත්‍ර වු ජලය කුඹුරු වලට එකතුවීම වැලැක්විම සදහා අපවිත්‍ර වු ජලය එකතු වන ටැංකියක් ඉදිකරන ලදි. පසු කාලිනව එය තවදුරටත් වැඩිදියුණු කලේය.
2002
  • මෙම වසරේ ඇති වු දේශපාලන පෙරලිය කසළ කලමනාකරණ ව්‍යාපෘතියට තදින්ම බලපැවේය
  • මෙම වසරේ ඇති වු දේශපාලන පෙරලිය කසළ කලමනාකරණ ව්‍යාපෘතියට තදින්ම බලපැවේය
  • 2002 ඔක්තෝම්බර් මාසයේ කසළ කලමනාකරන ව්‍යාපෘතිය පුද්ගලිකකරණය සදහා ටෙන්ඩර් කරන ලදි.
  • 2002 නොවැම්බර් 01 දා පුද්ගලික ආයතනයට පවරන ලදි.
  • පුද්ගලික ආයතනය මගින් සේවකයන්ගේ දෛනික වේතනය කපාහැරිම නිසා සේවකයන් ව්‍යාපෘතියෙන් ඉවත්විම.
  • 2002 නොවැම්බර් 14 දින දෙවන මහජන උද්ඝෝෂණය බළංගොඩ නගරසභාව වෙත එල්ල විය.
  • බළංගොඩ නගරසභාව නැවත කසළ කලමනාකරණ ව්‍යාපෘතිය තම අතට පත්කරගන ක්‍රියාත්මක කලේය.
2003
  • 2003 වසර මුලදි සේවකයින් නැවත ව්‍යාපෘතිය හා එක් විම සිදුවිය.
  • දෛනිකව එකතුවන කසළ දිරණ හා නොදිරණ ලෙස වර්ග කිරිම සිදුකරන ලදි.
  • කසළ වෙන් කිරිමේදී ප්‍රතිචක්‍රිය කල හැකි ද්‍රව්‍ය වෙන වෙනම වර්ග කිරීම සිදුකරනු ලැබිය.
  • කාබනික පොහොර සැදිමට යොදාගන්නා විවෘත ලුප ක්‍රමයේ (open windrow system ) කසළ ගොඩවල ප්‍රමානය අඩි 5×12 දක්වා කුඩා කරන ලදි.
2004
  • 2003 දි නව මුහුණු වරකින් ආරම්භ කල ව්‍යාපෘතිය සාර්ථකව ඉදිරියට කරගන යන ලදි.
  • පොහොර අලෙවි කරගැනිමේ ගැටලුවකට මුහුණ දිමට සිදුවිය.
  • නිෂ්පාදිත පොහොර ලොරියක පටවා ගත් නිමල් මහතා බෙදාහැරිමේ හා අලෙවි නියෝජිතයෙකු ලෙස ක්‍රියාකරමින් ජංගම අලෙවි සේවාවක් පවත්වා ගෙන ගියේය.
2005
  • කාබනික පොහොර නිෂ්පාදනය සාර්ථකව සිඳුකර‍ගෙන යමින් සාර්ථක අලෙවියෙන් වාර්තාගත ආදායමක් ඉපැයුවේය.
  • කසළ කලමනාකරණ ව්‍යාපෘතිය පවත්වාගන යාම සදහා ඉඩම් ප්‍රතිසංස්කරන කොමිෂන් සභාවෙන් ඉඩමක් ලබාදිම.
  • මේ ඔස්සේ යමින් ජාතික ඵලදායිතා තරගයේ දී පලාත් පාලන අංශයේ දිවයිනෙන් පළමු ස්ථානය බළන්ගොඩ නගර සභාව දිනාගන්නා ලදි.
  • බළංගොඩ නගර මධ්‍යයේ ප්‍රතිචක්‍රිය ද්‍රව්‍ය මිලදි ගැනිමේ මධ්‍යස්ථානය ඉදිකිරිමේ වැඩකටයුතු ආරම්භ කිරිම.
  • කාබනික පොහොර අලෙවියෙන් උපයා ගත් ධනය යොදාගනිමින් බොබි කැට් (Boby cat) යන්ත්‍ර මිලදි ගන්නා ලදි.
2006
  • නැවත වර්ථමාන සභාපති නිමල් ගාමිණී වීරසිංහ තේරී පත් වීම.
  • ඉන් පසු සබරගමුව පළාත් සභාවෙන් ලැබුන රු.මිලියන 02 න් මිලියන 01 උපයෝගී කරගෙන ඝණ අපද්‍රව්‍ය කළමණාකරණ මධ්‍යස්ථානයේ දෙවන මහලේ වැඩ අවසන් කිරීම හා දෙවන මහලේ පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම.
  • ඉතිරි මිලියන 10 ක් වියදමින් Bob Cat යන්ත්‍රයක් ලබා ගැනීම. (Bob cat යන්ත්‍රය 29,75000.00 ක් වටිනාකමක් ඇති වාහනයක් වු අතර ලක්ෂ 10ක් ගෙවා එය මිල දී ගෙන ඉතිරි 19.75000 මාස 06 ක් තුල වාරික 03 කින් ගෙවා ලබා ගැනීමට කටයුතු කරන ලදී.)
2007
  • පලාත් සභා හා පළාත් පාලන අමාතළ්‍යංශයෙන් ලැබුන රු. ලක්ෂ 05 යොදාගෙන කසල කළමණාකරණ මධ්‍යස්ථානයේ දිරා නොයන අපද්‍රව්‍ය එකතු කිරිම සඳහා අඩි 60ක් දිග අඩි 25 ක් පළල ගොඩනැගිල්ලක් ඉදි කරන ලදී.
2008
  • පරිසර හා ස්වාභාවික සම්පත් අමාත්‍යංශයෙන් ලැබුන රුපියල් ලක්ෂ 05 ක්ද නගර සභාවෙන් ලැබුන රුපියල් ලක්ෂ 03 ක් ද යොදාගෙන ලක්ෂ 08 ක වියදමින් රත්නපුර බලංගොඩ බලගහමුල මංසංදියේ දිරා නොයන අපද්‍රව්‍ය මිලට ගැනීමේ සම්පත් පියසක් ඉදිකර විවෘත කිරීම
  • විවෘත කරන දිනයේදී පාසැල් 17 ක මුලිකත්වයෙන් කසල ‍පොළක් පැවැත්වු අතර මෙදින කසල පොළට ටොන් 4ක දිරා නොයන අපද්‍රව්‍ය එකතු වූ අතර ඒවා අලෙවි කිරීමෙන් රුපියල් 22000.00 ක ආදායමක් උපයන ලදී.මෙම මධ්‍යස්ථානය විවෘත කිරීම ගරු පරිසර හා ස්වාභාවික අමාත්‍ය පාඨලී චමිපික රණවක මැතිතුමා විසින් සිදු කරන ලදී.
2009බලංගොඩ නගර සභාවට අඩු පාඩුවක්ව පවතින මල අපද්‍රව්‍ය ප්‍රතිකර්ම පද්ධතියක් පලාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ජාතික ඝන අපද්‍රව්‍ය කළමණාකරණ සහායක මධ්‍යස්ථානයෙන් ලැබුනු මිලියන 3.8 ක් හා නගර සභාවෙන් මිලියන 03 ක් ද යොදා සකස් කරන ලදී.
මෙම පද්ධතිය මගින් දිනකට මල අපද්‍රව්‍ය (waisht soil) ලීටර් 10,000 ක් පිරිසිදු කිරීමට භාජනය කරන අතර මෙම ක්‍රමවේදය පහත අංශයන්ගෙන් සමන්විතය.
  1. Receiving Tank
  2. Sedemedativn Two Tank
  3. Water Treatment Plant
  4. Dry Bed.
මෙම ක්‍රමවේදය මගින් දිනකට පිරිසිදු කරන ජලය ලීටර් 6000ක් නැවත කොම්පෝස්ට් ව්‍යාපෘතිය‍ට ප්‍රයෝජනයට ගනී.එසේම මසකට night soil යොදාගෙන කාබනික පොහොර කි.ග්‍රෑ.5000 ක්ද නිපදවීමට මෙය ‍යොදා ගනී.එසේම පාසැල් ආශ්‍රිතව දිරා නොයන අපද්‍රව්‍ය එකතු කිරීම පිණිස පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ජාතික ඝන අපද්‍රව්‍ය කළමණාකරණ සහායක මධ්‍යස්ථානයේන් ලැබුන රුපියල් මිලියන 01 ක් ද,ලර්න් ඒෂියා ආයතනයෙන් රු.30,000.00 ක් ද, පරිසර අධිකාරියේ පසු භාවිත ප්ලාස්ටික් අපද්‍රව්‍ය ජාතික ව්‍යාපෘතියෙන් ලැබුණු රුපියල් 255,000.00 ක් ද නගර සභාවෙන් රුපියල් ලක්ෂ 3 ක්ද යොදාගනිමින් නගරයෙන් ‍‍තෝරාගත් පාසල් 05 ක
එනම් :
  1. ර/ඇග්නස් බාලිකා විද්‍යාලය
  2. ර/බුද්ධ ජයන්ති විද්‍යාලය
  3. ර/විද්‍යාලෝක විද්‍යාලය
  4. ර/සී.සී.දෙමළ විද්‍යාලය
  5. ර/‍ජෙයිලානි මුස්ලිම් ජාතික පාසල
යන පාසැල් වල සම්පත් කේන්ද්‍ර 05ක් සකස් කර විවෘත කිරීම. මෙම සම්පත් කේන්ද්‍ර මගින් දිරා නොයන අපද්‍රව්‍ය වර්ග 16 ක් මිලදී ගැනීමට සැලැස්වීම.මෙම ද්‍රව්‍ය කෙලින්ම මුදල් දී මිල දී ගන්න අතර ලකුණු ලබා ගැනීමේ ක්‍රමයක්ද සකස් කර ඇත.
2010
  • නිවාස මට්ටමින් කසල කිරීමේ වැඩ සටහනක් හදුන්වා දීම.
  • කසල බද්ද එකතු කිරීම විධිමත් කිරීම.
  • දිරා යන කසල වෙන් වෙන් වශයෙන් එකතු කිරීම.

බළන්ගොඩ සැලසුම් සහගත ඝන අපද්‍රව්‍ය කළමනාකරණයේ ප්‍රධාන අංග:

  1. වීදි අතුගැම
  2. කසළ එකතු කිරිම
  3. කාණු පවිත්‍ර කිරිම
  4. එකතුකරන ලද කසළ කොම්පෝස්ට් අංගනය කරා ගෙන ඒම

01. විදි අතුගැම

  • සාමාන්‍යයෙන් ප්‍රධාන වීදි සදහා මාර්ගය දෙපස කම්කරුවන් දෙදෙනෙකු යෙදවිම
  • එක් දිනකට එක් සේවකයෙකු විසින් කි.මි 1 දුර ප්‍රමානයක් අතුගෑම කල යුතු විම
  • සේවකයන් දිවා රාත්‍රි වැඩ මුර දෙකකට සේවයේ යෙදවිම
  • අඩුම තරමින් සතියකට වතාවක් වත් මාර්ගයේ වැලි ඉවත් කිරිම
  • සැම සේවකයෙක්ම කසළ එකතුකිරිමේ වාහන වීදි වලට පිටත් විමට පැය භාගයකට පෙර වීදි අතුගැම සදහා පිටත් විය යුතු විම

02. කසළ එකතු කිරිම

  • දෛනිකව කසළ එකතු කිරිම මාර්ග සිතියමක් අනුගමනය කරමින්, යම් කාලසටහනකට අනුව සිදුකිරිම
  • සැම මාළු හා මස් වෙළදසැලක් සදහාම අපද්‍රව්‍ය එකතුකිරිම සදහා බැරල් ලබාදි තිබිම.
  • මාළු හා මස් වෙළදසැල් කසළ එකතු කිරිමේ මාර්ග සිතියමේ අවසානයේ පිහිටා තිබිම.
  • නගර සභාව සතු රෝද හතරේ ට්‍රැක්ටර්, අත් ට්‍රැක්ටර් හා කරත්ත යොදා ගනි.
  • කසළ එකතු කිරිම සදහා ලොරි ඩස්බින් යොදා ගැනිම.
  • විදි කසළ එකතු කිරිම සදහා එක් වාහනයකට සේවකයන් දෙදෙනෙකු පමණක් යෙදවිම.
  • සැම විදියකම දවසට වරක් කසළ එකතු යුතු අතර ප්‍රධාන වාණිජ වීදි වල දිවා රාත්‍රි දෙකෙහිම කසළ එකතු කල යුතුය.
  • කසළ එකතු කිරිම සදහා Bell collection ක්‍රමය හදුන්වා දි තිබිම.
  • එකතු කරන ලද කසළ සාමාන්‍යයෙන් විනාඩි 45ට වරක් කසළ ලෝඩ් එක බැගින් අවසන් බැහැර සිදුවන කොමිපොස්ට් අංගනය වෙත පැමිණෙයි.

03. කසළ වෙන් කිරිම

  • දෛනිකව එකතු වන කසළ අවසන් බැහැරලීම සිදුකරන භූමියේ දි කම්කරු ශ්‍රමය උපයෝගි කරගන නොදිරන හා දිරන ඒවා ලෙස වෙන් කිරිම සිදුකරයි.
  • සාමාන්‍යයෙන් මෙහිදි 100% ක් වෙන් කිරිමක් සිදුනොකරයි. විනාඩි 45ක් තුල සේවකයන් 4 දෙනෙකු මගින් මෙ.ටො 1ක කසළ තේරිම සිදුකරනු ලබයි.
  • කසළ තේරිමේ දි ප්‍රතිචක්‍රිකරණය කල හැකි දව්‍ය කඩදාසි, කාඩ්බෝඩ්, පොලිතින්, ප්ලාස්ටික්, බෝතල්, ටින්, යකඩ, තැඹිලි කෝමිබ, පරණ ටයර හා ටියුබි, පොල් කටු ලෙස අයිතම 11 ලෙස වෙන් කර ගබඩා කරනු ලැබේ.
  • දෛනිකව එකතු වන කසළ වලින් 65-70% දිරන ද්‍රව්‍ය ද ,20-25% නොදිරන ප්‍රතිචක්‍රිය ද්‍රව්‍යද, 10-15% බිම් පිරවිමට යොදාගන්නා ද්‍රව්‍ය ද පවති.

04. දිරන කසළ වලින් කොම්පොස්ට් සැදිමේ ක්‍රියාවලිය

  • වෙන් කරනු ලබන කසළ උපයෝගි කරගන දිග අඩි 12 ද ,පලල අඩි 5 ද වු කසළ ගොඩවල් විවෘත ලුපයක් (open windrow) ආකාරයට සාදනු ලබයි.
  • මෙලෙස සාදාගන්නා කසළ ගොඩවල් සති 6ක කාලයක් තබනු ලැබේ.
  • මෙලෙස විවෘත ලුපයක් (open windrow) ආකාරයට සැදු කසළ ගොඩවල් වලට පැය 6ක පමන කාළයක් ගතවන විට කසළ වල අඩංගු අපවිත්‍ර වු ජලය වෑස්සිමට පටන් ගනි. එම අපවිත්‍ර වු ජලයේ ජිව රසායනික ඔක්සිජන් ඉල්ලුම හා ආම්ලිකතාව ඉහල අගයක් ගනි. මෙම දියරය දුර්ඟන්ධයක් හැමිමට හා මැස්සන් බෝවිමට හේතු වේ. මෙම වෑස්සෙන අපවිත්‍ර වු ජලය (leachate) කොන්ක්‍රිට් කල කානු දිගේ ගෙනවිත් ටැංකියට එකතු කිරිම සිදුවේ.
  • අනතුරුව 1:1000 අනුපාතයට පිරිසිදු ජලය සමග මිශ්‍ර කර නැවත කසළ ගොඩවල් වලට ඉසිම සිදුකරයි.
  • වියලි කාලයේ දි පැය භාගයකට වරක් කසළ විවෘත ලුප (open windrow) මතට ඉසිම සිදුකරයි.
  • මෙම ක්‍රියා වලිය මුල් සති 6 තුල කසළ ගොඩවල් වල උෂ්නත්ව යාමනයට හා බැක්ටීරියා වර්ධනය, ක්‍රියාකාරාත්වයට අවශ්‍ය පරිසරය සැකසිම සිදු වෙයි.
  • සති 6ක කාලය අවසානයේ අර්ධ වශයෙන් ජිර්නය වු කසළ පෙරලිමට ලක් කරන අතර එමගින් කසළ ගොඩ හොදින් වාතනය වි ජිර්ණ ක්‍රියාවලිය ඉක්මන් විම සිදුවේ.
  • පෙරලිමට ලක් කරන ලද කසළ ගොඩ මතට තනුක කල අපවිත්‍ර වු ජලය ඉසිම සිදු කරයි.
  • නැවත සති 2ට පසු ජිර්නය වු කසළ පෙරලිමට ලක්කර හොදින් මිශ්‍ර කරුනු ලැබේ.
  • දෙවන පෙරලිමෙන් පසු දිරිමට ලක් වු කොම්පොස්ට් මද පවනේ වියලිමට හරිමින් තෙතමනය 8% දක්වා අඩුකරනු ලැබේ.
  • තෙතමනය 8% පමන වන අපදව්‍ය මිශ්‍ර කොමිපොස්ට් හලනය තුලින් යවා කොම්පෝස්ට්, නොදිරන අපද්‍රව්‍ය වලින් වෙන් කිරිම සිදුකරයි.

බළන්ගොඩ නගර සභාවේ කොම්පෝස්ට් සැදිමේ සුවිශේෂි වු අවස්ථා

  • ස්වායු තත්ව යටතේ කසළ කොම්පෝස්ටි බවට පත්විම සිදුවේ.
  • කොම්පොස්ට් සාදන කසළ ගොඩවල් (open windrow piles) විවෘත භූමිය පිහිටුවා තිබේ.මෙහි කොක්කු බහුලව සිටින අතර මෙය කොම්පොස්ට් සැදිමේ ක්‍රියාදාමයේ ගුණාත්මය නිර්ණය කරන ජෛව දර්ශකයක් ලෙස භාවිතා කරයි.
  • මෙම කසළ ගොඩවල් කොකුන්ගෙන් තොර විම ,කසළ ජිරනය විමේ ස්වායු ක්‍රියාවලිය අභිබවා ,නාර්වායු ක්‍රියාකාරිත්වය තුලින් විෂ වායු ජනනය විම සිදුවේ.
  • මිට පිළියමක් ලෙස කසළ ගොඩවල් වලින් වෑහෙන අපවිත්‍ර වු ජලය සමග හකුරු මිශ්‍ර කර සාදාගත් ද්‍රවනය දින කිහිපයක් තබා සාදාගත් ද්‍රවයනය නැවත කසළ මතට ඉසිමෙන් මෙම තත්වය සම්පුර්ණයෙන් පාලනය කලහැකිය. ‍තවද මෙය දුර්ගන්ධය පාලනය කිරිම සදහා නව ක්‍රම අත්හදා බැලිමේ එක් ක්‍රියාමාර්ගයකි.

කොම්පොස්ටි වල ගුණාත්මය දියුනු කිරිමට ගෙන ඇති පියවර

  • කසළ කොම්පොස්ට් බවට පත්විමේදී ස්කන්ධ අනුපාතය ඉතා වැදගත් සාධකයකි. එසේම කොම්පොස්ට් වල ගුණාත්මය දියුණු විමටද හේතු වේ.
  • මේ බව හොදින් අවබෝධ කරගත් බලංගොඩ නගර සභාවේ නායකත්වය නගර සීමාවේ පවතින සත්ව ඝාතකාගාරයෙන් හා මාළු, මස් වෙළදසැල් වලින් එකතු වන ලේ මිශ්‍ර සත්ව අපද්‍රව්‍ය ජිර්ණය වෙමින් පවතිනා කසළ ගොඩවල් වල මධ්‍යයේ සැදු වලවල් වලට එක්කරනු ලැබේ.
  • මෙම ක්‍රියාවලිය කොම්පොස්ට් වල නයිට්‍රජන් ප්‍රමාණය ඉහල නැන්වීමට සෘජුවම ඉවහල් වේ.
  • බලංගොඩ නගරසභා බල ප්‍රදේශය තුල වී මෝල් 4ක් පවතින අතර ඉන් සතියක් තුල දහයියා මෙ.ටොන් 1ක් පමන උත්පාදනය වේ. මෙම දහයියා වර්ෂ 2004 වන විට තෙත් බිම් ගොඩකිරිමට යොදාගෙන තිබේ.
  • පසුකාලිනව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හදුණ්වාදුන් දහයියා අගුරු නිෂ්පාදනය ඔස්සේ යමින් බලංගොඩ නගරසභා කසළ කලමණාකරන ඒකකයට මසකට දහයියා අගුරු කි.ග්‍රෑ 2500 ක් නිෂ්පාදනය කිරීමට හැකි විය.
  • මෙලෙස සාදාගත් දහයියා අගුරු හා කොම්පොස්ට් 1:100 අනුපාතයට මිශ්‍ර කිරිම සිදු කරනු ලැබේ.
  • මෙම ක්‍රියාවලිය කොම්පොස්ට් වල ගුණාත්මය දියුණු විමට සෘජුවම බලපාන අතර එය කොම්පොස්ට් වලට අවශ්‍ය තෙතමනය 15% දක්වා වැඩිකිරිමට හේතු වෙයි.
  • බැටරි හා හිස කෙස් දෛනික කසළ ප්‍රවාහනට එකතු වන අතර කොම්පොස්ට් නිපදවිමේ දී ප්‍රධාන ගැටලුවක් ව පවති. බැටරි හා ‍හිස කෙස් එකතු විමෙන් කොම්පොස්ට් වල ගුණාත්මය බාල විමක් සිදුවෙයි.
  • මනා ප්‍රජා දැනුවත් කිරිම හා සුදුසු නිති සම්පාදනය කරමින් බලංගොඩ නගර සභාව මෙම බාධකය මනාව ජය ගෙන ඇත.
  • මේ අනුව සියළුම බාබර් සාප්පු හිමියන් තම වැඩ බිමේ එකතු වන හිස කෙස් වෙනම උරවල බහාල කසළ එකතු කරන වාහන වලට ලබාදෙයි. එමෙන්ම ඔරලෝසු සාදන්නන් ඉවත දමන ඔරලෝසු බැටරි වෙනම එකතු කිරිම කරයි.

මෙතෙක් නිෂ්පාදිත කොම්පොස්ට් පොහොර ප්‍රමාණ හා අලෙවියෙන් ලද ආදායම


වර්ෂය

නිෂ්පාදිත පොහොර ප්‍රමාණය (Kg)

ලැබු ආදායම රු.
2003
2620
13,100.00
2004
25830
12,915.00
2005
92530
212,650.00
2006
210420
1,050,000.00
2007
265400
1,256,000.00
2008
324,650
1,540,425.00
2009
385,660
1,345,660.00

කසළ වෙන්කිරීමේ දී එක් රැස් වන නොදිරන කසළ වලට සිදුවන්නේ කුමක්ද?

තැඹිලි කෝම්බ
නාගරික පරිසරය තුල දෛනිකව ගොඩ ගැසෙන තැඹිලි කෝම්බ සෞබ්‍ය බලධාරින්ට ගෙන එන්නේ මහත් හිසරදයකි. විශේෂයෙන් නාගරික පරිසරය තුල මදුරුවන් බෝවිමට මෙය ප්‍රධාන හේතු සාධකයක්ව පවති.

බලංගොඩ නගර සභාව තුල දෛනිකව තැඹිලි කෝම්බ 1200-1500 අතර ප්‍රමාණයක් එකතු වේ. කොම්පොස්ට් අංගනය කරා ගෙනෙන තැඹිලි කෝම්බ දෙකට පලා වියළා ඉන්ධනයක් ලෙස භාවිතා කරයි. ඒ හෙයින් රු. 7500 ක් පමණ මසකට දර සදහා දැරු වියදම රු. 2500 කින් අඩු කරගැනිමට නගර සභාවට හැකිවි ඇත.
කඩදාසි හා කාඩ්බෝඩ්
දෛනිකව එකතු වන කසළ වෙන් කිරිමේ දි කඩදාසි ප්‍රධාන කාඩ්බෝඩ්, පොත් හා පත්තර යන කාණ්ඩ 3ක් යටතේ වෙන් කරනු ලබයි. එක් සතියක් තුල බලංගොඩ නගර සභාව විසින් ප්‍රතිචක්‍රිකරණය සදහා කඩදාසි හා කාඩ්බෝඩ් දළ වශයෙන් කි.ග්‍රෑ 1000 ක් පමණ අලෙවි කරයි. මෙම කඩදාසි හා කාඩ්බෝඩ් ප්‍රධාන ගැනුම් කරුවන් වන්නේ නෙප්චුන් පේපර් පුද්ගලික ආයතනය, නො. 390, අවිස්සාවෙල්ල පාර, වැල්ලම්පිටිය හා සන්බිම් පේපර් මිල්ස්, රණගල වත්ත, නාගොඩ. ඉන් මසකට රුපියල් 18,000 ආදායමක් ලබාගන්නා අතර ඉන් 20% සේවකයන්ට ලබාදෙනු ලැබේ.
ප්ලාස්ටික්
දෛනිකව එකතු වන කසළ වෙන් කිරිමේ දි ප්ලාස්ටික් කාණ්ඩ දෙකක් යටතේ කාණ්ඩ කරනු ලැබේ. ඉන් පෙට් බෝතල් වෙනම එකතු කරන අතර අනෙකුත් සියළුම ප්ලාස්ටික් එකම කාණ්ඩයක් යටතේ කාණ්ඩ කිරිම සිදු කරයි. පෙට් බෝතල් එක කිලෝවක් රුපියල් 10-20 අතර මුදලකට අලෙවිකරණ විට අනෙකුත් ප්ලාස්ටික් සියල්ලම පොදුවේ එකම මිලකට අලෙවි කරයි. එමෙන්ම කසළ සමග එන රිජිෆෝම් වෙනම එකතු කරනු ලබයි.
පොලිතින්
කසළ වෙන් කිරිමේ දි පොලිතින් වෙනම එකතු කරන අතර වර්ග කිරිමක් සිදු නොකරයි. එකතු කරන සියළුම පොලිතින් නගරය සමීපයේ වු සාමන් මහතාට සුළු මුදලකට අලෙවි කරනු ලැබේ. සාමන් මහතා තම ගෙදර දි සේවකයන් යොදවා අලෙවි කල නොහැකි ඇළුමිණියම් ආවරණය සහිත ආහාර ආවරණ හා සමහර ආහාර ආවරණ වෙන් කර අනෙකුත් පොලිතින් අලෙවිය සදහා උර වලට අසුරනු ලැබේ. එක් මසකට දළ වශයෙන් කි. ග්‍රෑම් 1200 පමන අලෙවි කරනු ලැබේ.
යකඩ
දෛනිකව සිදුවන කසළ වෙන් කිරිමේ දි තහඩු. ටින් හා බෙලෙක්ක, යකඩ සහ ඇළුමිනියම් වශයෙන් වෙන් කරනු ලැබේ.මසකට කි.ග්‍රෑම් 375ක් පමණ ප්‍රදේශිය ගැනුම් කරුවන් හට අලෙවි කරනු ලැබේ.
දැවි ගිය බල්බ
එක් මාසයක් තුල දැවි ගිය බල්බ කි. ග්‍රෑම් 650ක් පමණ එකතු වේ. වර්තමානයේදි මෙම දැවි ගිය බල්බ උපයෝගි කර‍ගෙන ලාම්පු හා චිමිණි නිපදවා අලෙවි කිරිමේ ස්වයං රුකියාවක් වශයෙන් බලංගොඩ ප්‍රදේශවාසින් පිරිසක් විසින් කර‍ගෙන යනු ලැබේ. ප්‍රයෝජනයට ගත නොහැකි බිදුනු බල්බ බිම් පිරවිමට යවනු ලැබේ.
විදුරු

කසළ වෙන් කිරිමේ දි විදුරු බෝතල් වෙනම එකතු කරන අතර එවා සුදු හා දුඹුරු විදුරු බෝතල ලෙස වර්ග කරනු ලැබේ. නමුත් කසළ සමග එන කාර්මික විදුරු(industrial glass) ප්‍රතිචක්‍රියකරණයට අලෙවි කල නොහැක. දෛනිකව එකතු වන බෝතල සියල්ලම එකම මුදලකට ප්‍රදේශිය ගැනුම්කරුවන් හට ලබාදෙයි.
E - waste
තාක්ෂණයේ දියුණුවත් සමග ගෝලිය ආර්ථික රටාව තුල දුරකථන හා පරිගණක ඇතුලු විද්‍යුත් උපකරණ බහුලව භාවිතා කරනු ලැබේ. එමෙන්ම යල්පැන ගිය තාක්ෂණයෙන් යුත් උපකරණ කසළ ගොඩට දැමිම හා අනෙකුත් රටවලින් නොකඩවා ශ්‍රි ලංකාවට ගෙන ඒම හේතුකොට ගෙන වර්තමානය වනවිට e - waste සියලුම නාගරික කසළ කලමනාකරණ ව්‍යාපෘති වලට මහත් හිසරදයක් වි ඇත. බලංගොඩ නගර සභාව තුල ඒකරාශීවන e - waste වල අඩංගු ප්ලාස්ටික් කොටස් පමණක් විකිණීම සිදු කරන අතර කාබන් චප් අඩංගු පරිපථ කොටස් අනාගත වෙළදපොළක් අපේක්ෂාවෙන් එකතු කරනු ලැබේ. නමුත් කසළ සමග එන සංයුත්ත තැටි ආර්ථික වටිනාකමක් ලබාදිමට සමත් වි නොමැති අතර මේවා බිම් පිරවිමට යොදා ගනි.
කසළට මිලක්
බලංගොඩ නගර සභාවේ, විධිමත් හා සැලසුම් සහගත කසළ කලමණාකරන ව්‍යායාමයේ එක් අංගයකි, නගර මධ්‍යයේ වු ප්‍රතිචක්‍රී‍රිය කසළ මිල දි ගැනිමේ මධ්‍යස්ථානය. වර්තමානයේ සුනිල් සදපාන්ගොඩ මහතා කසළ මිල දි ගැනිමේ මධ්‍යස්ථානයේ වැඩකටයුතු සාර්ථකව කරගන යනු ලැබේ. නගර සභාවේ කසළ කලමණාකරණ ව්‍යාපෘතිය සතුව පවතින ගිනුමෙන් රුපියල් 10,000 මුදලක් එක් වරකට ප්‍රතිචක්‍රිය කසළ මිල දි ගැනිමේ සදහා නිකුත් කරනු ලබයි. සතියේ සැම දිනම විවෘතව පවතින මෙම මධ්‍යස්ථානය නගරවාසින් රැගෙන එනු ලබන ප්‍රතිචක්‍රිය ද්‍රව්‍ය මිලදි ගනි. ප්‍රතිචක්‍රිය ද්‍රව්‍ය මිලදි ගැනිමේ මිල ගණන් අඩංගු මිල දර්ශකයක් ද මෙහි ප්‍රදර්ශනය කර ඇති අතර වර්තමානයේ කැන්වස් සහිත පරණ ටයර් ද මිල දි ගනු ලැබේ. කසළ මිලදි ගැනිමේ මධ්‍යස්ථානය තුල එකතු වන කඩදාසි හා පත්තර ප්‍රදේශිය කඩදාසි උර නිෂ්පාදකයන් හට ඉතා පහසු මිලකට ලබාදෙයි.

කසළ කලමණාකරන මධ්‍යස්ථානයේ ප්‍රතිචක්‍රී‍රිය ද්‍රව්‍ය අලෙවියෙන් ලද ආදායම

වර්ෂය
ප්‍රතිචක්‍රිය ද්‍රව්‍ය අලෙවියෙන් ලද ආදායම (රුපියල්)
2003
75,450.00
2004
53,850.00
2005
75,320.00
2006
79,450.00
2007
136,475.00
2008
174,320.00
2009
432,650.00
මෙමගින් ලබන ආදායමින් සේවකයින්ගේ අතිකාල දිමනා, සභාවේ විදුලි බිල්පත් වැනි දෑ ගෙවිම් සිදුකරනු ලබන අතර වසරකට වරක් සේවකයින්ව විනෝද චාරිකාවක් ‍්‍රැගෙනයාම සදහා ද එම මුදල් භාවිතා කරයි. ඉන් නොනැවතී සේවකයින්ට ණය සපයන අරමුදලක් ලෙස ද මෙම මුදල් යෙදවේ.
බලංගොඩ නගරසභවේ කසළ කලමණාකරන ව්‍යාපෘතියේ සාර්ථකත්වය පසු පස එහි නායකත්වයේ දැනුවත් විම, දැනුම බෙදාදිම හා ජනතාව දැනුවත් කිරිම, නව නීති හා රෙගුලාසි පද්ධතියක් හදුන්වා දීම, මානව හා භෞතික සම්පත් මනා කලමණාකරණය යන ක්‍රියාවලින්ගේ සංකලනය හේතු වි ඇති බව ඒ පිළිබද අධ්‍යනයේ දි මනාව පිළිබිඹු වේ.
වර්තමානයේ සැම ව්‍යාපාරිකයෙකුටම කසළ බද්දක් හදුන්වා දි ඇති අතර කසළ බද්ද හා කසළ වෙන් වෙන් වශයෙන් වෙන් කරන ආකාරය පිළිබදව මුලික දැනුවත් කිරිමක් කර ඇත. නගරයේ සැම ව්‍යාපාරිකයෙක්ම දිනපතා එක්රැස්වෙන කසළ ප්‍රමාණය දිරන හා නොදිරන ලෙස වෙන් කර දිය යුතුය. ව්‍යාපාරික ප්‍රජාව මේ සම්බන්ධව මනා දැනුවත් කරීමක් කර ඇත. ඔවුන් හට කසළ බද්දෙන් මිදීමට කරුනු 09 ක් අනුගමනය කල යුතුව ඇත.
  1. ආයතනය තුළ උප්පාදනය වන කසළ ප්‍රධාන වර්ග දෙකකට වෙන් කිරිම.
  2. ඒවා වෙන වෙනම කසළ බදුන් තුළ රැස් කිරිම.
  3. දිරන හා නොදිරන කසළ වෙන් කිරිමට බදුන් 2ක් තැබිම.
  4. නොදිරන අපද්‍රව්‍යය එකතුකර ඒවා නගර සභාවේ දිරා නොයන අපද්‍රව්‍යය මිලදි ගැනීමේ මධ්‍යස්ථානයට අලෙවි කිරිමේ ක්‍රමයක් සකස් කිරිම.
  5. කුමන හේතුවක් මත හෝ මාර්ගයට කසළ නොදැමීම.
  6. කිසිම වර්ගයක කෑම ඔතන පොලිතින් කොළ භාවිතා නොකිරිම.
  7. මුළුතැන්ගෙයින් හා නාන කාමරයෙන් පිටවන අපජලය ප්‍රධාන කානුවට නොයැවිම.
  8. කිසිම විටක නිෂ්චිත ස්ථානයක් වෙන් කර නොමැති නම් සිගරට් අලෙවි නොකිරිම.
  9. තම වෙළද ආයතනය තුල සිටින සියළු සේවකයන් මේ පිළිබද දැනුවත් කිරිම.
මේ ඔස්සේ යමින් 2005 වර්ෂයේදී ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද ජාතික ඵලදායිතා තරගයේදී පළාත් පාලන අංශයෙන් දිවයිනේ පළමු ස්ථානය බළන්ගොඩ නගර සභාව දිනා ගන්නා ලදී.
එමෙන්ම එක් මාසයක් තුල මිනිස් දින 300 ක මිනිස් බලයක් හා යාන්ත්‍රික උපකරණ කාර්යක්ෂමව යොදාගනිමින් ද පවතින සුළු ඉඩ ප්‍රමාණය මනා කළමණාකාරිත්වයක් ඇතිව යොදාගනිමින් සාර්ථක ව්‍යාපෘතියක් පවත්වාගන යයි. එපමණ
4ක් නොව ආනෙකුත් නගරසභා හා ප්‍රදේශිය සභාවන් හි පවත්නා කසළ කළමණාකරන ව්‍යාපෘති හා සම්බන්ධ නිලධාරින් පුහුණු කිරිමේ හා දැනුම බෙදාගැනිමේ වැඩමුලු පවත්වමින් තමන් ලත් දැනුම හා අද්දැකිම් අන් අයට බෙදා දිමේ මහගු කාර්යභාරය සිදුකරමින් සිටි.

අනාගත අපේක්ෂාවන්

  • නගරයේ සැම නිවසකම ඉවතලන අපිරිසිදු ජලය ඉවත් කිරිම සදහා පහසුකම් සලසමින් ඉදිරියේ දි බළන්ගොඩ නගර සභාව විසින් විධිමත් නළ පද්ධතියක් ස්ථාපිත කිරිම.
  • අපවිත්‍ර ජලය පිළියම් කරන තෙත් බිමක් ඉදිකිරිම හා එය නගරයේ සුන්දරත්වය ඔපවත් වන අයුරින් ඉදිකිරිම.
  • බළන්ගොඩ නගර සභා බල ප්‍රදේශයේ නිවෙස් වල එකතු වන ප්‍රතිචක්‍රිය ද්‍රව්‍යය මිලදී ගැනිමට යතුරු පැදියක් සමග සේවකයකු යෙදවිම

ඝන අපද්‍රව්‍ය කළමණාකරණ වැඩසටහනේ 5 අවුරුදු සැලැස්ම හදුනාගත් ක්‍රියාකාරකම්

2008
  1. දිරා නොයන අපද්‍රව්‍ය මිල දී ගැනීමේ මධ්‍යස්ථානයක් ඇති කිරීම.
  2. දිරා නොයන අපද්‍රව්‍ය මිල දී ගැනීම 10% දක්වා වැඩි දියුණු කිරීම.
  3. ව්‍යාපාරික ස්ථාන සඳහා දිරා යන හා නොයන අපද්‍රව්‍ය වෙන් කිරීම පිළිබඳ දැනුවත් කිරීම.
  4. කසල බද්ද හදුන්වා දීම.
  5. මළ අපද්‍රව්‍ය ප්‍රතිකර්ම පද්ධතියක් ඉදිකිරීම.
  6. ඝන අපද්‍රව්‍ය කළමණාකරණය පිළිබඳ පුහුණු මධ්‍යස්ථානයක් ඇති කිරීම.
  7. සීනු නාද ක්‍රමයක් ඇති කිරීම.
2009
  1. ඝන අපද්‍රව්‍ය කළමණාකරණ මධ්‍යස්ථානයේ IV අදියර ඉදි කිරීම.
  2. කසල ජනනය වන ස්ථානයේදී වෙන් කිරීම 30% නේවාසික ප්‍රදේශයක්ද ,60% වානිජ ප්‍රදේශයක්ද ඇති කිරීම.
  3. 10% ක්වූ වෙනත් අපද්‍රව්‍ය සදහා සනීපාරක්ෂක කසල රදවනයක් ඉදිකිරීම.
  4. කාබනික පොහොර වල තත්වය ඉහල නැංවීම.
  5. කාබනික පොහොර සඳහා පොස්පේට් එකතු කිරීම.
  6. දිරා නොයන අපද්‍රව්‍ය එකතු කිරීමට යතුරු පැදියක් යෙදවීම.
2010
  1. පුහුණු මධ්‍යස්ථානයේ ධාරිතාවය සංවර්ධනය කිරීම.
  2. පළාත් පාළන ආයතන වල කාර්යය මණ්ඩල සඳහා ජාතික නිපුනතා සහතික වෙනුවෙන් පාඨමාලා පැවැත්වීම.
  3. පොහොර නිශ්පාදන ධාරිතාවය මෙ.ටො.6 ක් දක්වා වැඩි කිරීම.
  4. පාසැල් 5ක දිරා නොයන අපද්‍රව්‍ය මිලදී ගැනීමේ මධ්‍යස්ථාන ඇති කිරීම.
  5. දිරා නොයන අපද්‍රව්‍ය මිලදී ගැනීමේ 40% දක්වා වැඩි කිරීම.
  6. කසල පොළක් පැවැත් වීම.
2011
  1. පාසැල් ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථාන 5 ක් ඇති කිරීම.
  2. ජනනය වන ස්ථානයේදී කසල වෙන් කිරීම 80% දක්වා වැඩි කිරීම
  3. පොහොර අලෙවි කිරීම සඳහා ජංගම රථයක් යෙදවීම.
  4. අමතර පළාත් පාළන ආයතන 02ක කසල ලබා ගැනීම.
  5. ගෙයින් ගෙට කසල එකතු කිරීම.
  6. පුහුණු කටයුතු NVQ Level4 දක්වා වැඩි කිරීම.
2012
  1. ජාත්‍යාන්තර ඝන අපද්‍රව්‍ය පුහුණු පාඨමාලාවක් පැවැත්වීම.
  2. විශ්ව විද්‍යාල සිසුන් සඳහා පුහුණුවක් ඇති කිරීම.
  3. පොලිතින් ප්‍රතිචක්‍රීකරණය සිදු කිරීම.
  4. කසල වෙන් කිරීම 80% දක්වා වැඩි කිරීම.
  5. අප ජලය ප්‍රතිකර්ම පද්ධතියක් ඇති කිරීම.

(බළංගොඩ නගර සභාවේ නිළ වෙබ් අඩවිය මඟින් උපුටාගන්නා ලදි)

No comments:

Post a Comment