දරුවන්ට යහපත් සනීපාරක්ෂක පුරුද්දක් ඇති කරවන්න (Child health)


මවුපියන් සැම විටම උත්සාහ ගන්නේ දරුවන්ට හොඳම දේ ලබා දෙන්නයි. ආහාර ගන්නා වයසට පත් වූ පසු රසවත්ම හා ගුණවත්ම ලෙසින් ආහාර පාන දෙන්නට මවක් මහත් සේ උනන්දු වෙනවා.එහෙත් ආහාර කැවීම එක්තරා අන්දමක යුද්ධයක්.ආහාර පාන දීම ගැන වගේම සැලකිල්ලට ගත යුතු තවත් කරුණක් තිබෙනවා. ඒ දරුවන් ගේ මළ පහ පිට කිරීම ගැනයි. මෙයත් මවුපියන්ට එක්තරා අන්දමක යුද්ධයක් කිව හැකියි.සමහර දරුවන් මළ බද්ධයෙන් පීඩා විඳිනවා.තවත් දරුවන්ට පිළිවෙළකට මළ මුත‍්‍රා පිට කරන්නට හුරු කිරීම පහසු කටයුත්තක් නොවෙයි.
කොහොමද මෙම ගැටලු වලින් පහසුවක් ලබන්නේ?දරුවන්ට ඉතාමත්ම කුඩා කාලයේ මළ මුත‍්‍රා පාලනය කිරීමට හැකියාවක් නැහැ. එහෙත් දවසින් දවස උස් මහත් වන පොඩ්ඩා කුසලතාවයන් ගේද ප‍්‍රගතියක් පෙන්වනවා.මුත‍්‍රා පාලනයකින් යුතුව පිට කිරීමට කලින් දරුවන් පාලනයකින් යුතුව මළ පිට කිරීමට පෙළඹෙනවා.එහෙත් මළ පිට කිරීම පාලනයකින් යුතුව කිරීමට පෙර මුත‍්‍රා පාලනයකින් යුතුව පිට කළ හැකි දරුවන් ද සිටිනවා.මළ බද්ධයෙන් පීඩා විඳින දරුවන්ට පිළිවෙළකට මළ පිට කිරීමට පුහුණු කිරීම පමා විය හැකියි.එහෙත් එය කණගාටුවට විය යුතු තත්ත්වයක් නොවෙයි. අම්මයි තාත්තයි මළ මුත‍්‍රා පිට කිරීමට වැසිකිළි යන බව දරුවට ආදරයෙන් පවසන්න.නියමිත වේලාවකට මළ පිට කිරීමට හුරු වූ දරුවකුට එම කාල වේලාවන්හි දී වැසිකිළි රැගෙන යන්න.මළ පිට කිරීමට නියමිත වේලාවක් නැති දරුවකු ආහාර කැවීමෙන් මිනිත්තු 30 කට පමණ පසු එනම් කුස පිරුණු පසු වැසිකිළි යාමට යොමු කරන්න. කුස පිරුණු පසු බඩවැල් හිස් කිරීමේ උත්තේජනයක් ඇති වෙනවා.
දරුවාට සමීපයෙන් ඔබත් සිටින්න. දරුවා බලයෙන් වැසිකිළියේ රඳවා ගන්න එපා. ඔහුට / ඇයට අපහසුවක් නොදැනෙන තුරු සිටින්නට හරින්න.සමහර දරුවන් තනිවම මළ පිට කරන්නට කැමැතියි.එවන් දරුවකු ගැන සෝදිසියෙන් සිටිය යුත්තේ හොර රහසේයි. අධික එළියක් ඇති විදුලි බල්බ, උස් හඬින් කතා කිරීම නිසා මළ පිට කිරීමට බාධා සිදු වේ.දරුවා වැසිකිළි හෝ වැසිකිළි බඳුනේ මළ, මුත‍්‍රා පිට කළ සෑම අවස්ථාවකදීම ප‍්‍රශංසා කරන්න. මළ, මුත‍්‍රා පිට නොකළත් වැසිකිළි බඳුනේ ඉඳගෙන උත්සාහ කිරීම ගැන හොඳ කියන්න.මළ බද්ධයෙන් පීඩා විඳින පොඩ්ඩන්ට කිරි, චීස්, අයිස් කී‍්‍රම් වැනි කිරි නිෂ්පාදන අඩුවෙන් දිය යුතුයි. ඇපල්, කෙසෙල් ගෙඩි, බත්, ජෙලටින් පාලනයකින් යුතුව දෙන්න. මෙවැනි ආහාර මගින් මළවල තද ගතිය වැඩි වෙයි.චොකලට් ද මළ බද්ධය ඇති කරන රස කැවිල්ලකි.ධාන්‍ය ආහාර වැඩිපුර දීම මගින් මළ බද්ධය අඩු කරන්න පුළුවන්. ධාන්‍ය කිරි සමග මිශ‍්‍ර කර ආහාරයට ගැනීමට බොහෝ දරුවන් කැමැතියි. එවැනි දරුවන්ට කිරි වතුර සමග මිශ‍්‍ර කර කිරිවල උකු ගතිය අඩු කළ යුතුයි.ජලය බීමට දරුවා උනන්දු කරන්න. කිරි, යුෂ, සෝඩා අඩු කර ඝන ආහාර ගැනීමට උනන්දු කරන්න.  යළි පළතුරු වැඩිපුර දෙන්න. පොත්තත් සමග ආහාරයට ගත හැකි එළවළු පලතුරු හැකි තරම් දීමෙන් ද මළ බද්ධය අවම කළ හැකියි.අලුතින් ආහාරයක් හඳුන්වා දුන් පසුත් දරුවන් ගේ මළ පිට කිරීමේ රටාවේ වෙනසක් සිදුවන්න පුළුවන්.මළ දියර ආකාරයෙන් පිට වන අවස්ථා තිබෙනවා. අසාත්මිකතාවක්, ආසාදනයක් මීට හේතු විය හැකියි. මෙවිට දරුවන් මළ පිට කිරීමට බිය වන නිසා මළ පහ කිරීමේ රටාව මුළුමනින්ම වෙනස් වන්න පුළුවන්. පාචනය වැනි රෝගී තත්ත්වයක් ඇති වූ විට වෛද්‍ය උපදෙස් පරිදි ආහාර රටාවෙහි ද වෙනසක් කිරීමට සිදු වෙනවා.පලතුරු යුෂ ආදිය වැඩිපුර දෙන ලෙසට මෙවැනි අවස්ථාවක උපදෙස් ලැබෙනවා.සමහර දරුවන් වයස අවුරුදු හතරෙන් පසුවත් පාලනයකින් යුතුව මළ පිට කරනු බැහැ. මෙය දුලබ සිද්ධියක් නොවෙයි. 1% - 2% ක් පමණ දරුවන්ගෙන් මෙම තත්ත්වය දැක ගන්න ලැබෙනවා.ගැහැණු දරුවන්ට වඩා පිරිමි දරුවන් මේ තත්ත්වයට ගොදුරු වෙනවා.
බඩවැල්වල මාංශ පේශීන් දුබල වීම,මානසික ගැටලු හෝ වැසිකිළි යාමට නිසි පුහුණුවක් නොලැබීම බොහෝ විට මීට හේතු වෙනවා.උග‍්‍ර මළ බද්ධය නිසා,බඩවැලේ පටක ඇදී ස්නායු මගින් සංඥා යැවීමේ කි‍්‍රයාවලිය අඩාල වීමද මීට හේතුවකි.ඇඳුමේ මළ පිට කිරීමට කිසිවිටකත් දරුවාට දොස් තබන්න එපා. මළ මුත‍්‍රා පිට කිරීම ගැටලුවක් වී ඇති දරුවාට මවුපිය සහයෝගය, ආදරය එම ගැටලුවෙන් නිදහස් වීම සඳහා නිරතුරුවම ලබා දෙන බව හඟවන්න.මළ මුත‍්‍ර පිට කිරීමට හුරු කරන කාලයේ දී රාති‍්‍රයේදීත් දරුවාට තම අවශ්‍යතාව දැන් විය හැකියි කියා සිතුවොත් වැරැදියි.එනිසා රාති‍්‍රයේදී නැපි අන්දවන්න.එහෙත් ඇඳුමේ මළ මුත‍්‍රා පිට නොකර අවදි වූ අවස්ථාවල ප‍්‍රශංසා කරන්න.ඇඳට යාමට පෙර දරුවාට දෙන පාන වර්ග සීමා කරන්න. පැණි බීම, සෝඩා විශේෂයෙන්ම කෝලා, වැනි කැෆෝන් අඩංගු බීම නොදිය යුතුයි. එහෙත් දරුවා පිපාසය ඇතිව ඇඳට යැවීම සුදුසු නැහැ.ඉන් ඇඳෙහි මුත‍්‍රා පිට කිරීමට වැඩි අවකාශයක් තිබෙන බව සමහර වාර්තා පෙන්වා දෙනවා.දිවා කාලයේ දී දරුවා පාන වර්ග බීමට පොළඹවන්න. ඇඳට යාමට පෙර මුත‍්‍රා කරවන්න. වැසිකිළියට හෝ වැසිකිළි බඳුනට යන මඟ ආලෝකමත්ව තබන්න.දරුවා ගේ පහසුවට වැසිකිළි බඳුන ඇඳ අසළින් තැබීමට ද පුළුවන්.යමක් තේරෙන වයසේදී ඇඳෙහි මළ මුත‍්‍රා පිට නොකර නිදාගෙන,අවදි වූ පසු දැනෙන සතුට වටහා දෙන්න.නිදා ගන්නා දරුවා ගේ කනට ළං වී ඇඳෙහි මළ මුත‍්‍රා නොකරනවායි කියා මුමුණන්න. නින්දෙන් ඇසෙන දේ මනසේ තැන්පත් වී කි‍්‍රයාත්මක වන අවස්ථා තිබෙන බව මනෝ විද්‍යාඥයන් පෙන්වා දී තිබෙනවා.දරුවාගේ වැසිකිළි බඳුන හෝ භාවිතා කරන වැසිකිළිය පිරිසුදු කළ යුත්තේ සැර නැති සේදුම් කාරකයකිනි. මළ මුත‍්‍ර පිට කළ වහාම වැසිකිළි බඳුන පවිත‍්‍ර කරන්න. සමහර දරුවන් මෙම අපද්‍රව්‍ය සමග සෙල්ලම් කිරීමට පෙළඹීම ඊට හේතුවයි.පාචනය වැනි රෝග තත්ත්ව නිසා මෙන්ම මුත‍්‍රා ආසාදන නිසාද දරුවන් ගේ මළ මුත‍්‍රා පිට කිරීමේ රටාවට බාධා සිදු වෙනවා.
ආසාදනයෙන් පෙළෙන දරුවකුට මුත‍්‍රා පිට කිරීමේ දී දැවිල්ලක්, පිළිස්සෙන ගතියක්, සැර ගඳක් දැනෙන්න පුළුවන්. මුත‍්‍රාවල පැහැය ද වෙනස් වෙනවා. නිතර ටික ටික මුත‍්‍රා කිරීම, බඩ රිදුම වැනි ලකුණු ද මුත‍්‍රා ආසාදනයක දී ඇති වන්න පුළුවන්. මෙය සිඟිති සිත බිය ගන්වන සිදුවීමක්. ප‍්‍රතිකාර ලබා රෝගයෙන් සුව වූ පසුවත් දරුවා මුත‍්‍රා පිට කිරීමට බිය වන්න පුළුවන්. එපමණක් නොව මළ පිට කිරීමේ රටාවට ද ඉන් බලපෑමක් ඇති විය හැකියි. දරුවා යථා තත්ත්වයට පත් වන තුරු ඉවසන්න. යථා තත්ත්වයට පත් නොවුණි නම් මනෝ වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට සිදු වෙනවා.වැසිකිළි යාමට හොඳින් පුරුදු වූ දරුවකු නිතර නිතර මුත‍්‍රා කරනවා නම් දියවැඩියාව දැයි පරීක්ෂා කරන්න.දිගින් දිගටම ඩයරියා වැනි රෝග තත්ත්වයක් පැවතීමට දරුවා ගේ මානසික ගැටලුද හේතු වෙනවා. එවැනි අවස්ථාවක මනෝ වෛද්‍ය උපදෙස් අවශ්‍යයි. දරුවාට උග‍්‍ර මළ බද්ධයක් නොමැති එහෙත් මළ වේදනාකාරීව පිට කරන අවස්ථාවක වෛද්‍ය උපදෙස් මත වැස්ලීන් වැනි ලිහිසි කාරකයක් භාවිතා කර පහසුවක් ලබා දිය හැකියි.මානසිකව මළ මුත‍්‍රා පිට කිරීමේ ගැටලු ඇති වන විට මනෝ වෛද්‍ය උපදෙස් ලබා දීමට මවුපියන් බිය නොවිය යුතුයි. දරුවන් බොහෝ විට මවුපියන්ට වඩා විවෘතව තුන් වැන්නකු සමග අදහස් ප‍්‍රකාශ කරන අවස්ථා තිබෙනවා.දරුවා ගේ හැකියාවන් අඩු, නොවැඩුණු මනසට මානසිකව ඇති වන ගැටලු ඉතා පීඩාකාරී නිසා ඉක්මනින් විසඳුම් ලබා දීම වැදගත්.දරුවන් අඳින චිත‍්‍ර ආදිය මගින් ද බියට හේතුව දැන ගන්න පුළුවන්.

No comments:

Post a Comment