ඒ අනුව ‛‛ඒඩ්ස්’’ රෝගයටත් වඩා දරුණු බවද කිව හැක. මේ රෝගය වැඩිපුරම වැළදෙන්නේ බල්ලන් නිසා නම් බල්ලන් සියල්ල මරාදැමීම මීට ඇති හොඳම විකල්පය නේදැයි කෙනෙකුට සිතිය හැක.ඒ අයුරින් මේ රෝගය පාලනය කිරීමට උත්සාහ ගන්නා රටවල් නැතුවාම නොවේ. එහෙත් එය කිසිදු සාර්ථක ප්‍රතිකර්මයක් නොවේ.
‛‛වගකීමෙන් යුතුව සුරතල් සතුන් ඇති කිරීම’’ හා ප්‍රජාවගේ සැළකිලිමත්භාවය ඉහළ මට්ටමක පවත්වා ගැනීමෙන් මේ රෝගය ඇතිවීම වැළදීම පාලනය කළ හැක.2007 වසරේ සැප්තැම්බර් 08 දින සිට ලෝකයේ ප්‍රථම වරට ‛‛ලෝක ජලභීතිකා දිනය’’ සැමරීම හා ඒ ආශ්‍රිත දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ඒ පිළිබඳව ලෝක ප්‍රජාවගේ අවධානය පෙරට වඩා වැඩිවී ඇති බව පෙනේ.
ජලභීතිකාව වෛරසයක් මගින් සෑදෙන රෝගයකි.මේ වෛරසය රැබ්ඩෝ වෛරස (Rhabdo) පවුලට අයත් RNA වෛරසයකි. මෙම වෛරසය ශරීරගත වු විට ස්නායු පද්ධතියට සංව්දී වීම නිසා ඉතා භයානක තත්ත්වයක් ඇති වේ. හැමවිටදීම ස්නායු පද්ධතිය හා සම්බන්ධ රෝග ලක්ෂණ පෙන්වනු ලැබේ.ඉහත කී රෝග කාරක වෛරසයම වෙඩි උණ්ඩයක හැඩයක් තිබෙන අතර, වටේට ලිපිඩ,ප්‍රෝටීන සහිත ආවරණයක් තිබේ.ජලභීතිකාව වැළඳුනහොත් ඒ සඳහා කිසිදු ප්‍රතිකාරයක් මෙතෙක් ලොව කිසිම රටක නොමැති බැවින් රෝග ලක්ෂණ පහළවී දින 10-14 ක් ඇතුළත රෝගියාගේ මරණය අනිවාර්යෙන් සිදුවේ.
ජලභීතිකාව කෙලින්ම මිනිසුන්ට වැළදෙන රෝගයක් නොවේ.එය සතුන්ට වැළදෙන රෝගයකි.මිනිසාටද එවැනි සතෙකුගෙන් මේ වෛරසය ශරීරගත වුවහොත් හා නිසි ප්‍රතිකාර නොගතහොත් මේ රෝගය වැළඳේ.පරිසරයේ උෂ්ණත්වය අනුව තම සිරුරේ උෂ්ණත්වය වෙනස් කර නොගන්නා හෙවත් අචලතාපී සතුන්ට මේ රෝගය වැළදෙන අතර, ඉනුත් අචලතාපී ක්ෂිරපායි ගණයට වැටෙන සතුන්ට මේ රෝගය ප්‍රධාන වශයෙන් වැළඳේ. මෙය බල්ලන්ට පමණක් වැළඳෙන නිසා මෙය පිස්සු බලු රෝගය ලෙස ප්‍රචලිත වී ඇත. මේ අනුව ජලභීතිකාව හෙවත් ජලයට ඇති බිය බහුලවම වැළඳෙන අචලතාපී ක්ෂිරපායි සතුන් ලෙස බල්ලන්, බළලුන්,මුගටියන්,හෝතඹුවන්, උගුඩුවන්, වඳුරන්, හරක්, එළුවන්, කලවැද්දන්, නරියන්, ඌරු මීයන් ආදි සතුන් ප්‍රධාන වශයෙන් දැක්විය හැක.ගෙවල්වල සිටින මීයන් සපාකෑමේ බහුලව දැකගත හැකි වුවත් මෙතෙක් එම සතුන්ගෙන් ජලභීතිකාව වැළඳෙන බව සොයාගෙන නැත.
අයාලේ යන සතුන්ගෙන් බහුලවම බෝවන මෙම රෝගය සතුන්ට වැළඳෙන රෝගයක් වුවද, රෝගය සහිත සතෙකු නීරෝගී මිනිසකු සපා කෑවහොත් එම වෛරසය මිනිසාටද ඇතුල් විය හැක.එය මිනිසාට රෝගය වැළදෙන එක් ප්‍රධාන ක්‍රමයකි.ජලභීතිකා වෛරසය වැඩිපුරම අන්තර්ගත වන්නේ ඉහත සඳහන් කළ සතුන් ගේ ඛේටයේ (කෙළ)ය.ඊට අමතරව, කිරි, කදුළු, මුත්‍රා, ලිංගික ශ්‍රාවවලද වෛරසය යම් ප්‍රතිශතයකින් අන්තර්ගත වී ඇත. නමුත් රුධිරයේ හෝ අසුචි (මළ)වල මේ වෛරසය තිබෙන බව මෙතෙක් ඔප්පු වී නැත.
අපේ සම ඉතා අනගි ආවරණයක් ලෙස හැඳින්විය හැක.විවිධාකාර විෂබීජ අපේ සිරුරේ අභ්‍යන්තරයට ඇතුල්වීම වැළැක්වීම අපේ සමමගින් සිදුකරන ප්‍රධාන කාර්යයකි.ජලභීතිකාව වැළදුන සතෙකු සපාකෑමත්, සීරිමක් (එනම් මෙහිදී සමේ කැඩීමක් අත්‍යවශ්‍යයි) මගින් ප්‍රධාන ලෙස වෛරසය නිරෝගී පුද්ගලයෙකුට ඇතුල් විය හැක.ඊට අමතරව පිටතට නිරාවරණය වී තිබෙන මුඛය, නාසය, ඇස් වැනි ශ්ලේෂ්මල පටල සහිත අවයවයකට ජලභීතිකාව වැළඳී ඇති සතෙකුගේ කෙළ වැටුණොත්, එසේත් නැත්නම් අපේ තුවාලයේ (ආවරණය කර නැති) ලෙව කෑවොත් එවැනි විටෙකදීද රෝග කාරකය ශරීරගත විය හැක.මෙවැනි සතෙකු නෑවීම, සුරතල් කිරීමේදී හෝ කෙළ හෝ මුත්‍රා හෝ පෑගුණ විටකදී රෝග කාරකය ශරීර ගත වීමක් වන්නේ නැත. නමුත් මේ අවස්ථාවලදී තමාගේ සිරුරේ සම කැඩී නැති බවට තමා තුළ සෑහීමක් තිබිය යුතුය. එමෙන්ම ඇස් වැනි පටක බද්ධ කිරීමකදී හැර වෙනත් අවස්ථාවකදී මිනිසෙකුගෙන් මිනිසකුට මෙම වෛරසය බෝ වු බවක් ද මෙතෙක් වාර්තා වී නැත.
ජලභීතිකා වෛරසයේ බීජෞෂණ සමයද ඉතා වැදගත්වේ.එනම් වෛරසය ශරීරගත වී රෝග ලක්ෂණ පෙන්වීමට ගතවන කාලය ඇතැම් විට සතියකට වඩා අඩුවිය හැකි අතර, ඇතැම් විට වසරකට වඩා වැඩිවීමටද හැක.මේ පුළුල් පරාසය නිසා යම් නිරාවරණයක් සිදු වුවහොත් වඩාත් විමසිලිමත් වීමට සිදු වේ.සාමාන්‍යයෙන් දින 30-දින 90ක් පමණ කාලය ‛‛බීජෞෂණ සමය’’ ලෙස සැලකේ. දියුණු රටවල කැලෑ සතුන්ට බහුලව මේ රෝගය වැළඳුනද, ආසියාතික රටවල ඊට අමතරව නිවෙසේ ඇතිකරන සතුන්ටද අයාලේ යන සතුන්ගෙන් බෝවීමේ ඉඩ තිබේ.
මිනිසෙකුගේ ඉහතින් දැක්වු ලක්ෂණ හා සමාන ලක්ෂණ දැකගත හැක. විශේෂයෙන්ම සුළං ඇති විටෙක, විදුලි පංකාවක් අසල සිටින විට හුස්ම ගැනීමේ අපහසුතාවය ආදිය දැක ගත හැකි අතර ස්නායු පද්ධතිය හා සම්බන්ධ විශේෂ රෝග ලක්ෂණ දැක ගන්නට නැතත් රෝග ලක්ෂණ පහළ වන මුල් අවස්ථාවේ සාමාන්‍ය උණ ගතියක් වැනි තත්ත්වයක් සමඟද රෝග ලක්ෂණ දැක ගත හැක. අවසාන අවස්ථාව (මරණය) දක්වාම රෝගීන්ගේ සිහිය හොඳින් තිබෙන නිසා ඉතාමත්ම අවාසනාවන්ත මරණයක් ලෙසට එවැනි රෝගියෙකුගේ මරණය දැක්විය හැකිය.විශේෂයෙන්ම කුඩා ළමයින්, තරුණ පරපුර මේ සඳහා බහුලවම ගොදුරුවන නිසා රටක සංවර්ධනය කෙරෙහී ඇති වන්නේ දරුණු බලපෑමකි.සතා සපා කෑ තුවාලය සුව වුවත්, ඒ අසල හිරිවැටීම, කැක්කුම ඇතිවීම, ඒ ස්ථානය අප්‍රාණික වීම ආදී තත්ත්වයන්, මොළයේ ආසාදන ඇතිවිය හැකිවීම, මාංශ පේෂි අක්‍රිය වීම විශේෂයෙන්ම උගුරේ මාංශ පේශි අක්‍රිය වී ශබ්දය පිටවීම අපහසු වීම, අතපය අප්‍රාණික වීම ආදී රෝග ලක්ෂණ බහුලවම දැක ගත හැක.
රෝගය වැළදුණහොත් ප්‍රතිකාර නැත.නමුත් සතෙකු සපා කෑ විගස පහත පියවරයන් අනුගමනය කිරීමෙන් රෝගය වැළඳීම වළක්වා ගැනීමට හැක.
- තුවාලය පිරිසිදු ජලයෙන් සබන් ගා හොදින් විනාඩි 10 ක් පමණ වහාම සෝදන්න.
- තුවාලයෙන් තව දුරටත් රුධිරය පිටවේ නම් රෝගියා රෝහල් ගත කරන තුරු පිරිසිදු රෙදි කැබැලකින් තුවාලය හොඳින් ගැටගසන්න.
- වහාම ළඟම රෝහලට රැගෙන ගොස් වෛද්‍ය උපදෙස් ලබාගන්න.
රෝග ලක්ෂණ අනූව ප්‍රභේද
රෝග ලක්ෂණ අනුව ජලභීතිකාවේ ප්‍රභේද දෙකක් දැකගත හැක.
1. වියරු පිස්සුව
මෙහිදී සතා නියම පිස්සු බල්ලකු ලෙස හැසිරේ.ඇස් රතු කරගෙන සෙම හලාගෙන, කටින් ලේ පෙරාගෙන සිටින අතර,වෛරසය ශරීර ගත වුවන්ගේ 80% කට පමණ ඇත්තේ මෙම වියරු පිස්සුවයි.
2. ගොළු පිස්සුව
මෙහිදී සතා සපා කන්නේ නැත. දඟලන්නේද නැත. අත පය අප්‍රාණිකව අදුරු ස්ථානයක ගුලි වී නිදාගෙන සිටී. උගුරේ මාංශ පේශි අක්‍රිය වන නිසා උගුරේ කටුවක් හිර වී ඇති ආකාරයක් පෙන්වයි.කෑම ගැනීම ප්‍රතික්ෂේප කරයි.මුල් අවස්ථාවේදී මෙය කුමන රෝගී තත්ත්වයක්දැයි සිතා ගැනීමද අපහසුය. වෛරසය ශරීරගත වුවන්ගෙන් 20% කට පමණ මේ රෝග තත්ත්වය දැක ගත හැකි, අතර මෙයද ඉතාමත් අවදානම් තත්ත්වයකි.රෝග ලක්ෂණ පහළ වී (මේ ආකාර දෙකේම) සාමාන්‍යයෙන් දින 10-14 ක් තුළ සතෙකු වුවත්, මිනිසකු වුවත් මරණයට පත්වීම අනිවාර්යෙන් සිදුවේ.
නොමිලේ ලබාදෙන එන්නත් සෑම රෝහලකම පාහේ ඇත.මෙහිදී සපා කෑම දරුණු සපාකෑමක් නම් වෛද්‍යවරයා තුවාලය පරීක්ෂා කර බලා රේබිස් ප්‍රතිදේහ අඩංගු එන්නතක් තුවාලයට ලබාදේ.මේ සඳහා සාමාන්‍යයෙන් පැය දෙකක් පමණ රෝහල් ගතවී සිටීමට සිදුවන අතර ඉන් අනතුරුව ජලභීතිකා නිවාරණ එන්නත් ලබාදේ. එය එන්නත් මාලාවකි. ඒ නිසා එන්නත් ලබාගැනීමට කාඩ්පතෙහි ලබාදෙන උපදෙස් පරිදි නියමිත දිනවලදී එන්නත් ලබාගැනීම ඉතා වැදගත්ය.එමගින් සාර්ථක ලෙස රෝග අවදානමෙන් මිදිය හැක.
සපාකෑම සුළු එකක් නම් ජලභීතිකා නිවාරණ එන්නත් මාලාව පමණක් ලබාදෙන අතර අදාල පරීක්ෂණවලදී සපා කෑ සතාට රෝගය තිබුනේ නම් පමණක් එන්නත් මාලාව දිගටම ලබාගත යුතුය
සපා කෑ සතා විශේෂයෙන්ම වැඩිපුරම සපා කන්නේ බල්ලන් යැයි උපකල්පනය කළහොත් බල්ලා දින 14ක් ඇතුළත මිය යන්නේද යන්න වඩාත් සුපරීක්ෂාකාරීව විමසිය යුතුය. (ඇතැම් විට කෙනෙකු බල්ලා මරා දැමීමට හැකි නිසා) මිය ගොස් මොළය කුණු වීමට පෙර එනම් පැය 8-10 ක් ඇතුළත හිස වෙන්කර දියර කාන්දු නොවන භාජනයක දමා කොළඹ වෛද්‍ය පර්යේෂණායතනය වෙත හෝ දැනට ඒ සඳහාම පිහිටුවා ඇති තවත් සායන 02ක් වන කරාපිටිය ශීක්ෂණ රෝහල වෙත හෝ පේරාදෙණිය පශු වෛද විද්‍යාලය වෙත යා යුතුය. හිස රැගෙන ඒමට පැය 8-10 කට වඩා කාලයක් ගත වේ නම් අයිස්වල බහා හැකි ඉක්මණින් අදාල මධ්‍යස්ථානය වෙත ගෙන යා යුතුය. කොළඹ වෛද්‍ය පර්යේෂණායතනයේ නම් පැය 24 ම මේ සඳහා විශේෂ අංශයක් විවෘතව පවතී.මෙසේ හිස රැගෙන ඒමේදී බල්ලාට එන්නතක් ලබාදී තිබේ නම් එම එන්නත් කාඩ්පත රැගෙන ඒමට හැකිනම් පරීක්ෂණ කටයුතු සඳහා එය විශාල පහසුවක් වනු ඇත.
මෙහිදී ප්‍රස්තුත හිස ආශ්‍රිත ප්‍රධාන පරීක්ෂණ දෙකක් සිදු කරනු ලැබේ.
1. ඩිරෙක්ට් ස්මියර් (Direct Smear) පරීක්ෂණය
මෙහිදී මොළයේ සියුම් පටකයක් අන්වීක්ෂ කදාවකට දමා ඊට වර්ණක යොදා නේගර්දේහ පිළිබඳව (Negrebodies) පරීක්ෂා කරනු ලැබේ.පරීක්ෂණ වාර්තාව ධන (+) (positive) නම් පැය 24ක් ඇතුළත පරීක්ෂණ වාර්තාව ලබා දේ. සමහරවිට මෙම පරීක්ෂණයේදී සතාට ජලභීතිකාව නොමැති නම් හෝ සතා මිය යෑමට පෙර ඝාතනය කර ඇත්නම් ප්‍රතිඵල නොපෙන්විය හැක.
2. සනාථ කිරීමේ පරීක්ෂණය FAT
මෙහිදී ජලභීතිකාව ප්‍රතිදේහ ජනක (Rabies Antigen) තිබේද යන්න පරීක්ෂා කරන අතර, එහි ප්‍රතිඵලය ධන (+) (Positive) නම් සාම්පලය ලැබී පැය 48 ක් ඇතුළත අදාල පරීක්ෂණ වාර්තාව සපයයි. සෘණ (-) (Negative) නම් තවදුරටත් ප්‍රතිකාර අවශ්‍ය නැත.
- සාමාන්‍යයෙන් ජලභීතිකාව යයි සැක කෙරෙන සතුන්ගේ හිස් 1500 ක් පමණ වසරකට වෛද්‍ය පර්යේෂණායතනයට ලැබෙන අතර ඉන් 50% ක් පමණ ජලභීතිකාව වැළඳුන සතුන් බව පරීක්ෂණ අනුව ඔප්පු වී තිබේ. එලෙස ජලභීතිකාව වෛරස සහිත සතුන්ගේ 85% පමණම බල්ලන් වන අතර, ඊට අමතරව බළල්ලු, හරකුන්, මුගටි හා කල වැද්දන් සඳහන් කළ හැක.
- ජලභීතිකාව වැළඳී මිය යාම පිළිබඳව සංඛ්‍යාලේඛණ පරීක්ෂා කිරීමේදී 1970 දශකයේ මුල් භාගයේ මරණ 300 ක් පමණත්, 1990 මුල් භාගයේ් මරණ 150 ක් පමණ වාර්තා වී ඇති අතර මෑත කාලීන සංඛ්‍යා ලේඛණ සලකා බැලීමේදී 2005 මරණ 55 ක් , 2006 මරණ 73 ක් 2007 මරණ 56 ක් ලෙස වාර්තා වී තිබේ. දැනුවත් කිරීමේ වැඩසටහන් හා ශ්‍රී ලංකාවේ රෝහල්වලින් ලබාදෙන ප්‍රතිකාරවල ගුණාත්මකභාවය ඉහළ නිසා අතීතයට වඩා වර්තමානයේ මරණ සංඛ්‍යාව පාලනය වුවද තවමත් වසරකට දරුණු සපාකෑම් හේතුවෙන් පුද්ගලයන් 2000ක් පමණ රෝහල්ගත වීම දක්නට ලැබේ.
- ජලභීතිකා එන්නත් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වසරකට මිලියන 200-250 ක් පමණ වැය කරයි. මේ එන්නත පිටරටින් ගෙන්වන අතර, ඉතා මිල අධිකය.මෙම එන්නත රජයේ රෝහල්වලින් නොමිලයේ ලබාදෙයි.
- වෛද්‍ය පර්යේෂණ ආයතනය, ජලභීතිකාව නිවාරණය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කර ඇති ශ්‍රී ලංකාවේ ප්‍රධාතම රාජ්‍ය ආයතනය යි.මේ සම්බන්ධව සෞඛ්‍ය කාර්ය මණ්ඩල පුහුණු කිරීම්, දැනුවත් කිරීම් හා උපදෙස් ලබාදීම සිදුකරන අතර, සෑම සතියේ දිනකම උදේ 8 සිට සවස 04 වන තුරුත් සෙනසුරාදා, ඉරිදා හා රජයේ නිවාඩු දිනවල පෙ.ව. 8.00 සිට දවල් 12.00 වනතුරුත් විශේෂයෙන් පුහුණු කළ වෛද්‍යවරුන් සහිත විශේෂ ඒකකයක්ද පිහිටුවා ඇති අතර ඕනෑම පුද්ගලයෙකුට එමගින් නොමිලේ අවශ්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබාගත හැක.
- කිසියම් හෝ රෝහලක පුද්ගලයෙකු ජලභීතිකාව යැයි සැක කිරීමකින් මිය ගියහොත් එම පුද්ගලයා පශ්චාත් මරණ පරීක්ෂණයකට යොමු කළ යුතු අතර, එම මානව මොළය වෛද්‍ය පර්යේෂායතනය වෙත වැඩිදුර පරීක්ෂණ සඳහා ලබාදිය යුතුය. මන්ද ? ජලභීතිකාව යැයි සැක කළද වෙනත් ස්නායු රෝගයක් නිසා රෝගියා මිය යාමටද හැකියාව ඇති හෙයිනි. මෙලෙස මියගිය අයගෙන් 75% පමණ ජලභීතිකාව නිසා මිය ගිය බව ඔප්පු වී ඇති තිබේ.සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් විශේෂිත චක්‍රලේඛයක් මගින් මෙලෙස මානව මොළ වෛද්‍ය පර්යේෂණායතනය වෙත එවන ලෙස සියලුම රෝහල් බලධාරින් දැනුවත් කර තිබේ.
- බල්ලන්, බළලුන් වැනි සතුන් අපගේ සුරතලුන් මෙන්ම අපගේ ආරක්ෂකයන්ද වෙති.නමුත් අපගේම නොසැළකිල්ල නිසා ඔවුන් නිසා අපගේ මරණයද සිදුවිය හැක.ඒ නිසා වගකීමෙන් යුතුව සුරතල් සතුන් ඇති කිරීමට සෑම පුද්ගලයෙකුම පෙළඹිය යුතුය. අයාලේ යෑමට, සතුන්ට ඉඩ නොදිය යුතුය. සපාකන සතෙක් නම් කටකලියාවක් දැමීම හෝ බැඳ තැබීම කළ යුතුය.
- සෞඛ්‍ය අමාත්‍යාංශය, වෛද්‍ය පර්යේෂණ ආයතනය, සත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුව, රාජ්‍ය නොවන ආයතන හා එක්ව අයාලේ යන සුනඛයන් එන්නත් කිරීමේ විශේෂ වැඩ පිළිවෙලක්ද මේ වන විට අරඹා තිබේ.එක් වරක් සතෙකු සපා කෑ විට දෙන එන්නත් මාලාව මුළු ජිවිත කාලයටම වලංගු නොවන බව තදින්ම මතක තබා ගත යුතු කරුණකි. නමුත් ලබාදෙන එන්නත් කාඩ්පත සුරක්ෂිතව තබා ගත යුතු අතර නැවත වරක් සතෙකු සපා කෑ විටෙකදී හැකිනම් එම සතාට ලබාදී තිබෙන එන්නත් පිළිබඳ සටහන් කර ඇති කාඩ් පතද සමඟ රෝහලට පැමිණිය යුතුය.
- ඔබේ ජීවිතයේ ආරක්ෂාවටත්, සමාජයේ සෙසු ප්‍රජාවගේ ආරක්ෂාවටත්, එමෙන්ම තම සුරතල් සතාගේ ආරක්ෂාව පිණිසත් බල්ලන්ට, බළලුන්ට නිසි පරිදි එන්නත් ලබාදීම අපගේ වගකීමකි. සාමාන්‍යයෙන් බලු පැටවකු ඉපදී සති 06ක් තුළදීත්,නැවත මාස 03ක් ගතවු විටදීත්, ඉන්පසු සෑම වසරක් පාසාත් ජලභීතිකා එන්නත ලබාදීම අතිශය වැදගත් කරුණකි.
- කිසි විටෙකත් අයාලේ යන සතුන් හෝ කැලෑ සතුන් තම නිවෙසට රැගෙන නොයෑම, සුරතල් නොකිරීමද වැදගත් බව මතක තබා ගත යුතුය.ඔබ ඔබගේ යුතුකම නිසි පරිදි ඉටු කරන්නේ නම්, වගකීමෙන් යුතුව සුරතල් සතුන් ඇති කරන්නේ නම් සතුන්ටවත්, මිනිසාටවත් කිසිදා හානියක් නොවනු ඇත.
- ඔබ සුරතලයට ඇති කරන සතුන්ගෙන් අනවශ්‍ය පරිදි පැටවුන් ලබා නොගෙන ඔවුන්ව වන්ධ්‍යාකරණ සැත්කම්වලට භාජනය කිරීමත්, ලැබෙන පැටවුන් පාසල්, පන්සල් ආදීයට ගෙන ගොස් නොදැමීමටත් කටයුතු කිරීම ප්‍රජාවගේ වගකීමක්ද වන්නේය.
No comments:
Post a Comment