ජාත්‍යන්තර අත් සේදීමේ දිනය ලෝක සෞඛ්‍ය සංවිධානය අලුතෙන්ම හඳුන්වාදෙන සංකල්පයකි. මේ දිනය යෙදී තිබුණේ ඔක්තෝබර් 15 වැනිදාට ය.
කුඩා කාලයේ සිටම කෑමට පෙර අත් සබන් ගා හොඳින් සෝදා ගැනීම වැසිකිළි පාවිච්චියට පසුව ද එසේ සිදු කිරීම මවුපියන් ගුරුවරුන් හා වැඩිහිටියන් විසින් අපට කියා දුන් හොඳ සෞඛ්‍ය පුරුදු ය. මේ පුරුද්ද යළි යළිත් මුළු සමාජයේ සියලු දෙනා වෙතම අවධානයට යොමු කිරීම මේ නව වැඩසටහනේ අරමුණයි.
කාර්ය බහුල ජීවිතයේදී එදිනෙදා වේල හරි හම්බ කරගෙන ජීවත්වන අය සබන් ගා හොඳින් අත් සෝදා නොගෙන ආහාර අනුභව කරන අවස්ථා අපට සුලභව ඕනෑ තරම් දකින්නට තිබේ.
අපේ ශරීරයට මුඛයෙන් විසබීජ ඇතුළුවීමට එක් ප්‍රධාන හේතුවක් විය හැක්කේ අපිරිසුදු දෑත් මගින් ආහාර ගැනීමය. ආහාර පිළියෙළ කිරීමය.
කෑමට පෙර මෙන්ම, වැසිකිළි යාමෙන් පසුව ද කෑම පිළියෙළ කරන අවස්ථාවේදී ද අත් සබන් ගා හොඳින් සෝදා ගැනීම ශරීර සෞඛ්‍යයට හිතකර වන්නේ මුඛයේ මාර්ගයෙන් විසබීජ ශරීරගත වීම වළක්වා ගැනීමට ය.
අත් සේදීමේදීත් හෝදන්නන් වාලේ අත් වතුර පොදකින් සෝදා ගැනීම ප්‍රයෝජනයක් නැත. මෙහිදී ද අනුගමනය කළ යුතු සෞඛ්‍ය සම්පන්න ක්‍රමයක් පවතී.
පළමුවෙන් අත් හොඳින් වතුරෙන් තෙමා ගත යුතු ය. ඉන් පසු අත්ලේ සහ අත්වල පහළ කොටසේ හොඳින් සබන් ගා අත්ල හා ඇඟිලිකරු අතර හොඳින් අතුල්ලා ගත යුතු ය.
අත මිට මොළවා පිටි අත්ල අනෙක් අතේ අත්ලේ ඇතිල්ලීම ද සිදු කළ යුතුය. මාපට ඇඟිල්ල අනෙක් අතින් අතුල්ලන්න. ඇඟිලි තුඩු හා නියපොතු ද අත්ලේ සබන් පෙන මත අතුල්ලා ගන්න.
ඉන්පසු පිරිසිදු ජලයෙන් අත්වල සබන් හොඳින් සේදී යන තෙක් සෝදා පිරිසුදු රෙදි කඩකින් අත් පිසදා ගත යුතු ය. මේ අත් පිස්නය ද දිනපතා හොඳින් සෝදා වේලා පාවිච්චි කළ යුතු ය.
හොඳින් මෙලෙස අත් සෝදා ගැනීම අපට අත්වල විස බීජ නිසා මුඛයේ මාර්ගයෙන් ශරීරය තුළට ගොස් ඇතිවිය හැකි රෝග රැසක් වළක්වා ගැනීමට හේතුවේ.
අත් හොඳින් එලෙස සෝදා ගැනීම හොඳ සෞඛ්‍ය පුරුද්දක් කරගත හැකි බවද අත් නොසෝදා කෑම ගැනීමට හුරුවීම පාචන රෝග ඇතුළු රෝග කිහිපයකට හේතු විය හැකි බව වසංගත රෝග මර්දන අංශයේ ප්‍රධානී වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය පෙන්වා දෙයි.
අපේ ඇසට නොපෙනෙන තරමට අප අවට විසබීජ රාශියක් පරිසරයේ පවතී. ඒ නිසා විශේෂයෙන් ම කෑමට පෙර ද වැසිකිළි පාවිච්චියට පසුවද එසේ ම කෑම පිළියෙළ කිරීමේ කටයුතුවලට පෙරදීත් සබන් ගා හොඳින් අත් සෝදා ගැනීම මුඛයේ මාර්ගයෙන් ශරීරයට විසබීජ ඇතුළුවීමේ වළක්වා ගත හැකි ක්රමයකි.
අත් නොසෝදා කෑම ගැනීම මගින් අතේ තැවරී ඇති විස බීජ මුඛයේ මාර්ගයෙන් ශරීර ගත වී මහ අන්ත්රය දක්වා ගමන් කොට බඩේ විවිධ රෝගා බාධ හා ඇතැම්විට එයින් තුවාල පවා සිදුවිය හැකි බවද වෛද්‍ය පළිහවඩන මහත්මිය පැවසුවාය.
සෞඛ්‍යය රැක ගැනීමට අප මේ ක්‍රමය අනුගමනය කළත් ඇතැම්විට තවත් ක්‍රමවලින් ද විසබීජ ශරීර ගතවීමට ද අවකාශ තිබේ. නාගරික සමාජයේ වුවද ඇතැම් දෙනා හැඳි ගෑරුප්පු යොදා ගනිමින් කෑම ගැනීමට සෞඛ්‍ය ආරක්ෂිත පුරුද්දක් ලෙස හුරු වී සිටියත් ග්‍රාමීය මෙන්ම නාගරික සමාජයේ බහුතරයක් කෑම ගැනීමට හුරු පුරුදු වී සිටින්නේ අතිනි.
අත් නොසෝදා කෑම ගැනීම පාචනය උණ සන්නිපාතය හා බෝවෙන සෙංගමාලයට ද හේතුවිය හැකි ය. එසේම දෑත් අපිරිසුදුව තිබියදී ඇස් ඇල්ලීම හෝ ඇස් පිසදා ගැනීම නිසා ඇස් රෝගය ද හටගනී. තුවාල ඇතුළු සමේ රෝගවලට නොපිරිසුදු අත්වලින් ඇඟ කැසීම හේතුවක් විය හැකි ය.
‘හෙපටයිටිස්’ රෝග බීජ ශරීර ගතවීමට ද අත සෝදා නොගැනීම ද යම් බලපෑමක් ඇති කරවයි.
රෝගී පුද්ගලයකු ඇල්ලූ විට පවා අත් සෝදා ගැනීම අවශ්‍යය. රෝහලක නම් රෝගීන් රාශියක් වෙනුවෙන් කටයුතු කිරීමේදී අත් සෝදා ගැනීමට ‘ඇල්කොහොල්’ විස බීජ නාශකය යොදාගැනීම ද සිදු කෙරෙන්නේ ආරක්ෂාකාරී පියවරක් ලෙසය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අතුල කහඳලියනගේ මහතා අත්සෝදා ගැනීමේ තාක්ෂණික වැඩසටහනක් පාසල් ළමයින්ගේ සිට සමාජය වෙත කියාදීම අරමුණ කොටගෙන අත්සෝදා ගැනීමේ ජාත්‍යන්තර දිනයේ සිට ආරම්භ කිරීමට සියලු පියවර ගෙන තිබෙන බව ය.
මෙහිදී අධ්‍යාපන අමාත්‍යාංශය සෞඛ්‍ය අමාත්‍යාංශය එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හා පෞද්ගලික අංශයේ සහයෝගය ද මේ වැඩසටහනට ලබා ගන්නා බව ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස මට්ටමින් පාසල් 1500 කදී ළමයින් මිලියනයකට මේ ක්‍රමය කියාදීමට ලෝක අත්සේදීමේ දිනයේදී පියවර ගන්නා බව ද කිය.
රෝග නිවාරණ වැඩසටහන්වලදී හා සෞඛ්‍ය දත්ත වලදීත් ශ්‍රී ලංකාව ඉතා දියුණු මට්ටමකින් පෙරමුණේ සිටී. රෝග බෝවීම ද බෝවෙන රෝග පාලනය කිරීම අතින් ද අප සාර්ථක ප්‍රතිඵල නෙලාගෙන ඇත. අත් සේදීමේ අපේ හුරු පුරුදු අපි යළි යළිත් සමාජය වෙත යොමු කිරීමට නව වැඩසටහන කි‍්‍රයාත්මක කරන්නේ ද අපේ සෞඛ්‍ය ඉලක්ක තව තවත් සපුරාගැනීමට බව ද සෞඛ්‍ය ලේකම්වරයා පෙන්වා දෙයි.
No comments:
Post a Comment